ප්‍රජා සංවර්ධන ඒකකය

            ගාල්ල මහා නගර සභාවට අයත් ප්‍රජා සංවර්ධන ඒකකය මගින් නිවාස යෝජනා ක්‍රම, පෙර පාසල්, පුස්තකාල, ප්‍රජා සංවර්ධන සමිති, මැහුම් මධ්‍යස්ථාන අධීක්ෂණය කර පවත්වාගෙන යාම සිදුවේ. ගාල්ල මහා නගර සභාව සතුව පෙර පාසල් 21 ක් හා දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් පවතින අතර, ප්‍රජා සංවර්ධන සමිති 43 ක් හා මැහුම් මධ්‍යස්ථාන 04 ක් සක්‍රීයව ක්‍රියාත්මක වේ. මීට අමතරව නාගරික ලේකම් දෙපාර්තමේන්තුව යටතේ ඇති ආචාර්ය රිචඩ් පතිරණ මහජන පුස්තකාලය ඇතුළු ශාඛා පුස්තකාල 04 ක් ද සක්‍රීයව ක්‍රියාත්මක වේ. මීට අමතරව “පුර නැගුමට වැඩ දහසක්“ සහ “සභා බලය ගම් පියසට“ යන වැඩසටහන් යටතේ කලාප කමිටු 05 ක් හරහා මහා නගර සභා බල ප්‍රදේශයේ සංවර්ධන කටයුතු හා නඩත්තු කටයුතු සම්බන්ධීකරණය කිරීම ද මෙම අංශයෙන් සිදු කෙරේ. කසළ කළමනාකරණ කටයුතු විධිමත්ව කිරීම සඳහා කසළ එකතු කිරීමේ කාල සටහන් සැකසීම ඇතුළු අවශ්‍ය දැනුවත් කිරීම් ද ප්ලාස්ටික් එකතු කිරීමේ මධ්‍යස්ථානය හා වීදුරු එකතු කිරීමේ මධ්‍යස්ථානය සක්‍රීයව පවත්වාගෙන යාමේ කටයුතු ද මෙම ඒකකය හරහා සිදු කෙරේ.

            ගාල්ල මහා නගර සභාව තුල ක්‍රියාත්මක කරන විවිධ ආගමික හා සංස්කෘතික උත්සව කටයුතු, විවිධ වැඩසටහන් සම්බන්ධීකරණය හා සංවිධානය කිරීම ද ප්‍රජා ආයුර්වේද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සමගින් දේශීය පෝෂණයෙන් යුත් ආහාර පිළිබඳවත් බෝනොවන රෝග වලක්වා ගැනීම පිළිබඳවත් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම මෙම අංශය හරහා සිදුවේ. වාර්ෂිකව පෙර පාසල් දරුවන් 600 කට පමණ පෙර පාසල් අධ්‍යාපනය ලබා දී විධිමත් පාසල් අධ්‍යාපනයට යොමු කිරීම ද පසුගිය සෑම වසරකම පාහේ මෙම ඒකකය හරහා සිදුකෙරිණි. තව ද සෑම වසරකදීම ගාල්ල මහා නගර සභාව මගින් නොමිලයේ පවත්වනු ලබන මැහුම් සහ සූපවේදී පාඨමාලා සම්පූර්ණ කරන ලද පුහුණු ලාභීන් 100 ට අධික පිරිසක් සමාජයට ස්වයං රැකියා ලාභීන් ලෙස එක් කිරීම ද මෙම ඒකකය හරහා සිදුවේ.

            ග්‍රාමීය මට්ටමින් පිහිටුවා ඇති ප්‍රජා සංවර්ධන සමිති හරහා ශ්‍රමදාන වැඩසටහන් සංවිධානය කර විවිධ බෝවන රෝග මර්දනය සඳහා කටයුතු ද සිදුකරන අතර විවිධ සංවර්ධන කටයුතු සිදුකරන කර්මාන්ත ඉටු කිරීම මගින් එම සමිතිවල මූල්‍යමය තත්ත්වය ඉහළ නැංවීමට අවශ්‍ය කටයුතු කර ඇත. ඒ ආකාරයෙන් සමිති උපයා ගන්නා ලද අරමුදලින් ප්‍රදේශයේ ප්‍රජාවගේ සුභ සාධනය සඳහා නිරතුරුව අවශ්‍ය වන උත්සව භාණ්ඩ ආදිය ලබා ගෙන ප්‍රජා සංවර්ධන සමිතියේ සාමාජිකයින්ට අවශ්‍යතාවයන් අනුව නොමිලයේ ලබා දීමට කටයුතු කර ඇත. මෙම සමිති මගින් චක්‍රීය ණය අරමුදල් පවත්වාගෙන යාම මගින් ද ස්වයං ජීවනෝපාය වැඩසටහන් තුලින් ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමට කටයුතු සිදුකරයි.

            එමෙන්ම ස්වාභාවික ආපදා තත්ත්වයන් ඇතිවන අවස්ථා වලදී සුභ සාධන කාර්යයන් හා උපදේශන කාර්යයන්, දැනුවත් කිරීමේ වැඩසටහන් පවත්වනු ලැබේ. ගෙවතු වගා වැඩසටහන් පැවැත්වීම, ප්‍රජාවගේ මානසික හා කායික සංවර්ධනය උදෙසා ක්‍රීඩා සමිති සඳහා ක්‍රීඩා උපකරණ ලබා දීම, වීදි ළමුන් හා අහිතකර මත්ද්‍රව්‍ය වලට හා සමාජ විරෝධී කටයුතු කරන අයවලුන් සමාජයේ යහපත් පුරවැසියන් ලෙස සමාජගත කිරීමේ කටයුතු සඳහා ද ප්‍රජා සංවර්ධන ඒකකය මැදිහත් වී කටයුතු සිදුකරයි.