ගොඩනැගිලි සැලැස්මක් අනුමත කිරීම

ගොඩනැගිලි ඉදිකිරීමේ දී නිසි පරිදි අනුමැතියක් ලබාගෙන එය සිදුකිරීම මගින් අනවසර ඉදිකිරීම් හා මුඩුක්කු නිවාස ඇතිවීම වැළකී යන අතර ඒ තුළින් විධිමත් සැලසුම් සහගත නගරයක් බිහිකළ හැකි වේ.

ඉදිරිපත් කළ යුතු ලේඛන

  • අනුමත බිම් සැලැස්ම (මිනින්දෝරු සැලැස්ම)
  • යෝජිත ගොඩනැගිල්ලේ සැලසුම් පිටපත් 03ක් B පෝරමය සමග සම්පූර්ණ කර ඉදිරිපත් කළ යුතුය. B පෝරමය ගාල්ල මහා නගර සභා ඉංජිනේරු දෙපාර්තමේන්තුවට පැමිණ ලබාගත හැකිය. (මෙහි දී  ඉදිකිරීමට යෝජිත ගොඩනැගිල්ලේ සැලසුම් පිටපත් 03 ක් ඉංජිනේරු දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු අතර ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ සංවිධානයේ අනුමැතියට ඉදිරිපත් කිරීම සඳහා තවත් එක් පිටපතක් අවශ්‍ය වේ)
    • B පෝරමය ලබා ගැනීමේ දී, 2022 අයවැය ලේඛනය අනුව නිවසක් සඳහා රු. 300/- + රජයේ බදු මුදල්
    • ව්‍යාපාරික ස්ථානයක් සඳහා රු. 600/- + රජයේ බදු මුදල්
    • වෙළඳ සංකීර්ණයක්, හෝටලයක් සඳහා රු. 1500/- + රජයේ බදු මුදල් වශයෙන් ගාස්තු අයකරනු ලැබේ.
  • අදාල ඉඩමේ වරිපනම් අංකය සඳහා අයදුම්කරුගේ නම සඳහන්ව තිබෙන බවට තහවුරු ලිපිය. (මෙම ලේඛනය B පෝරමයට අමුණා ඇත)
  • ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ සංවිධානයේ (NBRO) නිර්දේශය . (මේ සඳහා වන අයදුම්පත්‍රය ද B පෝරමය ලබා ගැනීමේ දී ලබා ගත යුුතුය. බිම් සැලැස්ම අනුමත කිරීමේ දී මෙම නිර්දේශය ලබා ඇත්නම් හා එම නිර්දේශයේ කාල සීමාව ඉක්මවා නොමැතිනම් නැවත ලබා ගැනීම අවශ්‍ය නොවේ)
  • ඉදිකිරීමට යෝජිත ගොඩනැගිල්ල පිහිටා ඇත්තේ 300m වූ  වෙරළ කලාපය තුළ නම් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිර්දේශය ලබා ගත යුතුය.
  • වර්ගමීටර් 300 ඉක්මවන හෝ මායිම් අන්ධ බිත්තියක් ඉදිකිරීමටත් නම් වරලත් ඉංජිනේරුවරයෙකුගේ සහතිකය අවශ්‍ය වේ.

ඉහත ලේඛන සම්පූර්ණ කර නාගරික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ සැලසුම් නිලධාරී වෙත භාරදිය යුතුය. මෙහිදී යෝජිත ගොඩනැගිල්ලේ වර්ගමීටර් ප්‍රමාණය අනුව පෙරසැරි ගාස්තු ගෙවිය යුතුය. අදාළ ලේඛන භාර දීමෙන් පසුව ගොඩනැගිල්ල ඉදිකිරීමට යෝජිත ඉඩම පරීක්ෂා කිරිම සඳහා කලාප භාර තාක්ෂණ නිලධාරි පැමිණ අදාළ සැලසුමේ හා ඉඩමේ යෝග්‍යතාවය පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කරන අතර එම වාර්තාව සැලසුම් කමිටුවට ඉදිරිපත් කිරීමෙන් පසුව අනුමැතියට සළකා බලනු ලැබේ. සැලසුම් කමිටුවේ අනුමැතියෙන් පසුව සංවර්ධන බලපත්‍රය හා අනුමත සැලසුම ලබා ගත හැකිය.